Wednesday, September 9, 2015

IS THERE A LIFE INBETWEEN BIRTH? අන්තර් භවය






අන්තර් භවය

Published by Himali Samarajeeva


(උපුටා ගෙන ඇත්තේ දිනමිණ පුවත්පතෙනි2009/02/04/ සහ 11 /සහ 18/)

නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ තෙර නමකි. කර්මය හා කර්ම විපාක, අපාය, දෙව්ලොව හා බඹලොව, මරණය හා පුනර්භවය, අන්තරාභවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ උන්වහන්සේ පැවැසූ අදහස් නොපෙනෙන ලොව සැබෑ තතුනමින් ආලෝකෝ උදපාදිසමග ඔබට පුදමු.

ප‍්‍රශ්නය - කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තර්භවය බවත්, ඇතැම් බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි.

පිළිතුර - ඇත්ත වශයෙන් ඒක අලුත් ප‍්‍රශ්නයක් නොවේ. අවුරුදු 2300 කට ඉස්සර ප‍්‍රශ්නයක්. ඒකට දිග ඉතිහාසයක් තියෙනවා. සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100 ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙන් දෙවැනි සංගායනාව කළා. ඒකෙදි අලජ්ජි භික්ෂුන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා. ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා. මහාසංගීති නමින් සංගායනාවක් ද පැවැත්වූවා. විශාල පිරිස් හදාගත්තා. පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරෙන කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒගොල්ලන්ගේ නිකාය 17 ක් ඇතිවුණා. එතන තිබුණා පුබ්බ සේලියසහ සම්මිතියකියල නිකාය 2 ක්. ඔය කොටස් දෙක තමා මේ මනුලොව උපදින්නන්ට අන්තරාභවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ඨියක් ඇතිකෙළේ.

අන්තරාභවික දෙන්නෙක්

ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම යනවා. ඒ ඇත්තන්ට අන්තරාභවයක් නෑ. එහෙත් මනුලොව උපදින්න ඉන්න උදවිය සුදුසු මවුපියන් ලැබෙනතුරු අහසේ රූපයක් නැතිව නාමකය පමණක් එක තැනක නොසිට ශීඝ‍්‍රයෙන් ඇවිදිමින් දින හතක් ඊටත් වැඩිය කාලයක් පවතිනවා. ඒ අන්තරාභවික දෙන්නෙක් හමුවුනාම කතා කරනවා. ගන්ධය ආඝ‍්‍රාණය කරනවා. සුදුසු මවුපියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධි ගන්නවා. ඕකයි ඒ ඇත්තන්ගේ පිළිගැනීම. ඒ වන විට තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා. තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන් අවුරුදු 235 ක් පිරිලා. එතැනදී ප‍්‍රශ්න රාශියක් විසඳුණා. බුදුරජාණන් වහන්සේ දෙසූ මාතෘකා අනුව ප‍්‍රශ්න විස්සජ්ජන (විසඳුම්) දේශනාවක් කතාවත්ථු ප‍්‍රකරණය නමින් සංග‍්‍රහ වුණා. ඒකට මේ අන්තරාභව වාදය ඇතුළත් වුණා. අත්ථි අන්තරාභවෝතිකියලයි වාදය ආරම්භ වුණේ. මේ අවස්ථාවේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරාභව ප‍්‍රශ්නය තේරුවා.

මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරාභවයක් තියෙනවාද?

පිළිතුර ඔව්
මොග්ගලී ඒක කාම භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී රූප භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී අරූප භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී අරූප භවයේද ඒ දෙක අතරේද?
පිළිතුර නෑ
මොග්ගලී එහෙනම් ඒක සංඥා භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී අසඥා භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී ඒක වෝකාර භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී චතුවෝකාර භවයෙද?
පිළිතුර නෑ
මොග්ගලී ඒ තුන අතරෙද?
පිළිතුර නෑ
මොග්ගලී එවිට අන්තරා භවය ඉපදීමක් තියෙනවද?
පිළිතුර නෑ
මොග්ගලී චුතවීමක් තියෙනවද?
පිළිතුර නෑ
මොග්ගලී එහෙනම් මොකද අන්තරා භවයක් තියෙනව කියන්නෙ?
පිළිතුර බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා අන්තරාභවයක් තියෙනවා.

එතැනදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? අසංකාර භවයකුත් තියෙනවද? සසංකාර භවයකුත් තියෙනවද? කියල.

ස්වාමීන් වහන්ස, ඉහත කී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත්...

අන්තරා පරිනිබ්බායි
උපහච්ච පරිනිබ්බායි
අසංකාර පරිනිබ්බායි

සසංකාර පරිනිබ්බායි කියල බඹලොව අනාගාමීන් වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බඹ තලයේ ආයුෂ මහාකල්ප 1000 යි. ඉන් 500 ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. 500 ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරාභවයක් නැහැ කියල.

සිත සැරිසැරීම

අන්තරාභවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම හිතන්න වටිනවා. දැන් ඒ අය තියනවා කියන අන්තරාභවයේදී රූප කයක් නෑ. සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වගේ තවත් අන්තරාභවිකයෙක් හමුවුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න පුළුවන් ද? එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑනේ නාම කයෙන්. ගන්ධය ආඝ‍්‍රාණය කරනවලු. ගන්ධය ආඝ‍්‍රාණය කරන්න රූප කයක් එපායැ. එවිට ඒකත් බොරුවක්. ඊළඟට දිවැසට පේනව කියනව මනුස්ස ලෝකෙ දිවැස් ඇති අයට ඒ අය පේනවලු. දිවැසට වත් පේන්නේ නෑ නාමකය. දැන් අරූප ලෝකෙ ඉන්න ඇත්තෝ දිවැසට පේන්නේ නෑ. රූප කයක් තිබිය යුතුයි දිවැසින් බලන්න. ඒවාත් එවිට සම්පූර්ණයෙන් බොරු.

ඊළඟට ඒ අන්තරාභවිකයා බලා ඉන්නවලු හොඳ මවුපිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ගෙදරක උපදින්නේ නෑ නේද? අංග විකලව උපදින්නේ නෑ නේද? පහත් කුලයක උපදින්නේ නෑ නේද? තමන් කැමැති විදියට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕන. එවිට මේ ලෝකෙ ඉන්න බෑ දුප්පත් අය අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බෑ. මෙසේ නුවණින් සිතීමේදී සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි.

ප‍්‍රශ්නය තිණ්නං ඛෝපන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සා වක්කන්ති හෝති. ඉධ මාතා පිතරෝ සන්නිපතිතා හොන්ති. මාතාච අතුනී හෝතී. ගන්ධබ්බෝ ච පච්චුපට්ඨිතො හෝති

මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ම නිකායේ මහා තණ්හා සංඛය සූත‍්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද? සත්‍ය වශයෙන් ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද?

ගන්ධබ්බ අරුත

පිළිතුර - මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලයි විග‍්‍රහ වෙන්නෙ. මෙතැන ගන්ධයක් ආඝ‍්‍රාණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නෙ. චුතියට අනතුරුව පටිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නෙ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකියි.

රහතන් වහන්සේ හැර සෝවාන් සකදාගාමී අනාගාමීන් වහන්සේලාත් අනෙක් පෘථග්ජන සත්ත්වයෝත් නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත් වී අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මව්පිය දෙන්නෙක් සොයන අන්තරාභවිකයෙකු නොවෙයි.

ප‍්‍රශ්නය ආටානාටිය පිරිතේ අප අසා තිබෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතකෝවා, ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතැන කියවෙන ගන්ධබ්බයා කවුද?

පිළිතුර - එතැන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නෙ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක දේව කොට්ඨාසයක්. චාතුර් මහාරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම නැතිව ගන්ධය ආඝ‍්‍රණය කරන අන්තරා භව සත්ත්වයො නෙමෙයි. එසේ අන්තරා භවිකයො ඉන්නවා නම් ඒ අය අඹු දරුවොත් සහිත පිරිසක් වෙන්න ඕනනෙ.

ප‍්‍රශ්නය කරණීය මෙත්ත සූත‍්‍රයේ එන සම්භවෙසීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට ධර්මය උගත් බහුශ‍්‍රැත භික්ෂූන් වහන්සේලා පවා ප‍්‍රකාශ කරනව, අප අසා තිබෙනවා එහි සත්‍යතාවයක් තිබේද?

පිළිතුර - සම්භවේසී කියල කරණීය මෙත්ත සූත‍්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද දෙකේ ඒකාබද්ධ කමක්. භූතා කියන්නෙ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ත්ව කොට්ඨාසවලට නමක්. ඕපපාතික සත්ත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තො භූතා, සංසේදජ සත්ත්වයෝ යම් තෙත ඇති ස්ථානයෙක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තො භූතා. මවුකුසේ උපදින සත්ත්වයෝ මවු කුසින් බිහිවුණා නම් එවිට භූතා. බිජුවටින් බිහිවෙන (අණ්ඩජ) සත්ත්වයෝ බිජුවටින් එළියට පැමිණි විට භූතා. ඒ හැර සම්භවේසිකියන්නේ මවුකුසේ උපදින සත්වයෝ මවුකුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන තේරුමයි එතන තියෙන්නෙ. පටිසන්ධි ගත්ත එහෙත් ඉපදීම අසම්පූර්ණයි.

මෙලොව එළිය දකින විට භූතා වෙන්නෙ. ඊළඟට බිජුවටින් (අණ්ඩජ) හටගන්න සත්වයෝ බිජුවටින් එළියට එනකම්ම මව්කුසේ ඉපදිලා බිජුවට බිහිවී බිජුවටින් නික්මෙන තුරුම සම්භවේසී ඔන්න ඔය විදිහටයි සම්භවේසී කියන වචනය ධර්මයේ විග‍්‍රහ වෙන්නෙ. ඉපදීම නිමා කළ සත්ත්වයෝ භූතා ඉපදෙමින් සිටින සත්ත්වයෝ සම්භවේසී.

ප‍්‍රශ්නය ති‍්‍රපිටකයට අයත් පාරාජිකා පාලියේ සඳහන් වෙනව මුගලන් මහරහතන් වහන්සේ අහසෙහි හැසිරෙන භූත ආත්ම සියැසින් දුටු බව. අන්තරාභවය සනාථ කිරීමට සමහරු මෙබඳු දේ සාධක කර ගන්නව. අපි ඒ පිළිබඳ අප නාහිමියන් වහන්සේගෙන් විමසුවා. එයට උන්වහන්සේ දුන් පිළිතුර.

පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා උප්පත්ති සතර ආකාරයක් පිළිබඳව. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික, බිත්තරවලින් උපදින සත්ත්වයෝ අණ්ඩජ මවුකුසින් බිහිවෙන ක්ෂිරපායි සත්ත්වයෝ ජලාබුජ, අකුසල හේතුවෙන් තෙත් ඇති කුණු කසල ආදියෙන් උපදින්නේ සංසේදජ, කුසල හේතුවෙන් නෙළුම් මල් ආදියේ පහළවෙන සමහර මනුස්සයො ඉන්නව ඒ ගොල්ලොත් සංසේදජ සකලාංග සම්පූර්ණව දිව්‍ය ලෝකවල දෙවිවරු, බ‍්‍රහ්මයො, නරකාදියෙ නිරිසත්තු, පෙ‍්‍ර්තයෝ, අසුර ලොව අසුරයො, මේ අය ඔක්කම ඕපපාතිකයි. එයින් වේමානික කියල පෙ‍්‍ර්ත කොට්ඨාසයක් ඉන්නවා.

ඒ අය ඇතැම් විට මේ සතර ආකාරයෙන් මත් උපදිනව. මුගලන් මහරහතන් වහන්සේ දුටු විරූ කොට්ඨාස ඔක්කොම පෙ‍්‍ර්තලෝකෙ උපන් අය. ඒ අය කෙළින්ම ඕපපාතිකයි. ඕපපාතික නිසා උපතින්ම ඒ ඇත්තන්ටම අවශ්‍ය අවයව ඇතිව පහළ වුණා. අහසේ හැසිරෙන්නෙ සෘද්ධි බලයෙන් නෙවෙයි. ඒකට කියන්නෙ කර්මවිපාකජසෘද්ධිය කියල.

ප‍්‍රශ්නය මව් කුසක දරුවකු පිළිසිඳ ගැනීමට ස්තී‍්‍ර පුරුෂ දෙදෙනෙකුගේ එක්වීමක් අවශ්‍යයි. නමුත් ඕපපාතික උත්පත්තියේදී එබඳු දෙයක් නෑ. එවිට සත්ත්වයෙකු හටගන්නා ආකාරය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. ඒ පිළිබඳව ගරු ස්වාමීන් වහන්ස තව ටිකක් පැහැදිලි කළොත්?

පිළිතුර - මේක කර්ම නියාමයක්. කර්මය කාටවත් පාලනය කරන්න බෑ. යම්කිසි විදියකින් සිතුවා නම් මම මනුලොව උපදින විට ඕපපාතිකව ඉපදේවා කියල ඊට සුදුසු කුසල් උත්සන්නව තිබුණා නම් මවෙක් පියෙක් නැතිව දෙවඟනක් දිව්‍ය කුමාරයෙක් වගේ හිටි හැටියේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු දෙන්නෙක්. අම්බපාලි සහ චිඤ්චිමානවිකාව. අම්බපාලි උපන්නෙ විශාලා මහනුවර අඹ වනයේ. ඒ නිසයි අම්බපාලි කියන නම් වුණේ. දෙවඟනක් වගේ ශරීර සම්පත්තියක් පිහිටියා. චිඤ්චිමානවිකාව උපන්නෙ සැවැත් නුවර සියඹලා ගහක් යට. චිඤ්චි කියන්නෙ සියඹලා. සියඹලා ගහක් යට ඉපදුන නිසා චිඤ්චිමානවිකාව වුණා. රූපයෙන් ඉතා විශිෂ්ට වුණා. හැමෝම විවාහ යෝජනා ගෙනා නිසා විවාහයට යෑමට නොහැකි වුණා.

අන්තිමේ පරිබ‍්‍රාජිකාවක් වගේ හිටියා. නිගන්ඨයො ආශ‍්‍රය කරල බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පමණ මහණ දම් පුරල ප‍්‍රාර්ථනාවක් කරල තිබුණා. රහත් වෙන ආත්මෙදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියල. ආයු කෙළවර දෙව් ලොවින් චුත වී සසර ප‍්‍රාර්ථනාව අනුව මව් කුසක නොඉපදී ඕපපාතිකව ඉපදුනා. ඒක කර්මයක විපාකයක්. දැන් මවු කුසක උපදින්නෙකුට කාය දසක, භාව දසක, වත්ථු දසක තුනයිනේ. මව්කුසේ වැඩිම වශයෙන් රූප කලාප තුනයි පහළ වෙන්නේ. කළල අවස්ථාවේ, ඒ හැර ඕපපාතිකව ඉපදෙන කොට සකලාංග පරිපූර්ණව ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන සියල්ලම එකවර සම්පූර්ණ වෙලා ඒ එක්කම තමයි චිත්තය පහළ වෙන්නෙ. පටිසන්ධියයි රූපකය පහළ වීමයි යන දෙකම පෙර පසු නොවී එකවර සිදුවෙන්නෙ.

ප‍්‍රශ්නය ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ?

පිළිතුර - ඔය චුති උත්පත්ති ගැන. කිසිම සත්ත්වයෙකුට තමන්ට තමන් වගකියන්න බෑ. හේතුව මරණය සහ උප්පත්තිය කියන්නෙ කර්මානුකූලව කර්ම නියාමයට අනුව සිදුවන දෙයක්. නොඑසේම මට මෙහෙම උපදින්න ඕන මෙහෙම උපදින්න ඕන කියල කිසිම කෙනෙකුට උපදින්න බෑ. ධ්‍යාන අභඥාලාභියෙකුට හැර, ධ්‍යානලාභියෙකුට නම් මම අහවල් බඹ තලයට යන්න ඕන කියල හිතාගන්න පුළුවන්. ඒ හැර මේ කෙලෙස් හරිත අන්ධබාල පෘථග්ජන සත්ත්වයන්ට මට අහවල් තැන හොඳයි කියල තෝරගන්න තරම් ශක්තියක් නෑ. අනිත් කාරණය තමයි අපි මේ සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ ගැනනෙ. මනුස්ස ලෝකය පඤ්ච වෝකාර භවයක්. පඤ්ච වෝකාර භවයෙහි වස්තු රූපයකින් තොරව සිත පවතින්නෙ නැහැ. වස්තු රූපයක් මතයි සිත් හටගන්නේ පවතින්නේ එනිසා අන්තරාභවය සනාථ කිරීමට පිණිස ඉදිරිපත් කළ ඉතා බොළඳ ප‍්‍රශ්නයක් ඔය තැනක් නොතිබ්බොත් කියන ප‍්‍රශ්නය.

මේ විශ්වයේ ඉන්නේ එක අම්මාද? රජ කුලයක හෝ සිටු කුලයක ඉපදීමට සුදුසු පින් ඇති කෙනෙක් සිතමු. ඉතිං එයාට මේ ලෝකෙ උපදින්න ඉන්නේ එක රජ පවුලක්ද? එක සිටු පවුලක් ද? අපි හිතමු අහසට දැම්ම පොල්ලක් ඕක කොතැනකට වැටෙයිද කියල කියන්න බැහැනෙ. ඒ වගේ මෙලොවින් චුතවීමත් මතු ඉපදීමත් එසේ වූවොත් මෙසේ වූවොත් කියා අපි හිතන ආකාරයට නොව කර්ම නියාමයකට අනුව සිදුවන දෙයක්. මිනිස් ලොව ඉපදීමට සුදුසු පින් ඇති අය මෙහි නො ඉපදුනොත් දෙව්ලොවක ඕපපාතිකව හෝ චුතියට අනතුරුවම ඉපදීම තමා ථෙරවාදී ධර්මයට අනුව සම්බුද්ධ දේශනාව අනුව නිසැකවම අපි විසින් පිළිගනු ලබන්නේ.

ප‍්‍රශ්නය එහෙමයි ස්වාමීන් වහන්ස, අපට දැන් ඉතා පැහැදිලියි. මේ අන්තරාභවය යනු මිථ්‍යාවක් බව. එහෙත් මේ ඔස්සේ සිතා අතරමං වූ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස තව කරුණක් විමසීමට අවසරයි. ථෙරවාදී බෞද්ධ වේශයෙන් පෙනී සිටින එහෙත් ථෙරවාදී ආකල්ප නැති ඇතමුන් අන්තරාභව කථාවේදී කියන දෙයක් තමයි කෙනෙකු අන්තරාභවයට පත් වුණාම ඔහු අහසේ හැසිරෙමින් එක තැනක නොසිට ශීඝ‍්‍ර වේගයෙන් ගමන් කරමින් සිටින බව. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්?

පිළිතුර - අපි මේ ජීවත් වන මනුස්ස ලෝකෙ අපේ සිත පවතින්නෙ වස්තු රූපයක් ඇසුරු කරගෙනයි. දැන් අපි මව් කුස පිළිසිඳ ගැනීමේදී කළල අවස්ථාවෙම හටගන්නා හදය (හෘදය) වස්තු රූපය නිසා තමයි එතැන සිට පිහිටන්නෙ. සම්මුති වශයෙන් සත්ත්වයකුගේ පහළවීම පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම, එනිසා වස්තු රූපයකින් තොරව කවදාවත් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන සතර නාමස්කන්ධය පවතින්න බැහැ. කෙනෙක් මරණයට පත් වෙන විටම ඔහු ඔහුගෙ වස්තු රූපය නිරුද්ධ වෙලා ඉවරයි. ඉන්පසු ඔහුට ඇස, කණ, නාසය, දිව, ශරීරය, හෘදය යන වස්තු රූපයක් නැතිව සිත පමණක් අහසෙ ගමන් කරන ශක්තියක් නැහැ. අරූපාවචර බ‍්‍රහ්ම ලෝකෙ බ‍්‍රහ්මයන්ටවත් නාමධර්ම පතුරුවන්න බෑ.

ඒ අය බඹලොව ඉපදුනාම උපන් තැනම ඉන්නවා. ඔවුන්ට ඇවිදීමට කථා කිරීමට කිසිසේත් බෑ. ඇහැට පේන්නෙත් නෑ. අරූපාවචර බ‍්‍රහ්මයන්ටත් එසේ නම් මේ අන්ධබාල කෙලෙස් බහුල පෘථග්ජන සත්ත්වයෝ කොහොමද අහසෙ පාවෙවී ඉපදීමට තැනක් සොයමින් අහසේ සැරිසරන්නේ? එනිසා රූපකාය නැතිව නාමකාය හෙවත් සිත අහසේ සීඝ‍්‍ර වේගයෙන් ගමන් කරන බව උමතු අයෙකු හැරුණු කොට ධර්මය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලැබූ අයෙකුටවත් ප‍්‍රකාශ කළ නොහැකියි. එය සම්පූර්ණ මිථ්‍යාවක්.

ප‍්‍රශ්නය එහෙම අහසේ ගමන් කරන සත්ත්ව කොට්ඨාස පිළිබඳව ධර්මයේ සඳහන් වෙන්නෙ නැද්ද?

පිළිතුර - ඕපපාතිකව ඉපදිලා අහසේ ගමන් කරමින් දුක් විඳින සත්ත්ව කොට්ඨාස ඉන්න බව විනය පිටකයේ පාරාජීකා පාලියේ සහ සූත‍්‍ර පිටකයේ පෙ‍්‍ර්ත වස්තු දේශනාවේ දැක්වෙනවා. ඒ සියල්ලෝම පෙ‍්‍ර්තලෝකයට අයිති අය. එහෙම නැතිව ඉපදීමට සුදුසු තැන් සොයමින් කය නැති සිත පමණක් ඇති අන්තරා භවික සත්ත්වයො නෙමෙයි.

ප‍්‍රශ්නය අන්තරාභවය පිළිබඳ දැඩි මතවාද ඉදිරිපත් ඇතැම් හිමිවරු කියා තිබුණා තමන් අන්තරාභවය පිළිගත්තේ කරුණු කාරණා සහිතව යමක් කීවොත් එය කොයි නිකායට, යානයකට අයත් උනත් අප පිළිගත යුතුයි කියල. අනික මහායානික නිකායක් වූ සර්වාස්තිවාදීන් අතරත් රහතුන් වහන්සේලා සිටිය කියල කියනවා. මේ අදහස ධර්ම විනයට එකඟද? එකඟ වෙන්න පුළුවන් සාධක තිබෙනවාද?

පිළිතුර - සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ගතවූ පසු විශාලා මහනුවර භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙනුයි දෙවැනි ධර්ම සංගායනාව සිදුවුණේ. මේ දෙවැනි ධර්ම සංගායනාවේදී දස අකැප වස්තුව විනය විරෝධී බව තීරණය වූ අතර දහදාහක් පමණ අලජ්ජී භික්ෂූන් ශාසනයෙන් ඉවත් කරනු ලැබුවා. එම අලජ්ජී භික්ෂූන් වෙනත් ප‍්‍රදේශයකට ගොස් තමන් ද සංගායනාවක් කර එය මහාසංගීතිනමින් හඳුන්වා තම භික්ෂු පිරිස ද මහා සංගීති නිකාය වශයෙන් නම් කළා. මේ මහා සංගීති නිකාය තමා මහායානය බවට පත්වුණේ. වැඩිකල් නොගොස් මේ භික්ෂූන් නිකාය දාහතකට බෙදුණා. ඔය මහායාන නිකාය දාහතට අයිති කොටසක් තමයි සර්වාස්තිවාදීන් කියන්නෙත්.

ඔවුන් මේ මහායාන නිකායවල් පිහිටුවා ගත්තෙ ශාසනය ආරක්‍ෂා කරන්නවත් තමන් දුකින් මිදෙන්නවත් නෙමෙයි. ලජ්ජි සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් පළිගන්න සහ ශාසනය විනාශ කරන්න. එනිසා ඔව්හු ධර්ම විනය ශාස්තෘ ශාසනය තමන්ට උවමනා විදියට සකස් කරන්න පටන් ගත්තා. බුද්ධ වචන වෙනස් කළා. බුදු සසුනට සතුරුකම් කිරීමත් ථෙරිය පරපුර විනාශ කිරීමත් එකම බලාපොරොත්තුව කර ගත් එම මහායානිකයින් තුළ දියුණු වූ ශීලයක්, සමාධියක්, ප‍්‍රඥාවක් නැහැ. ජනපි‍්‍රය වීමේ ක‍්‍රම උපාය අනුගමනය කරමින් මහජනයාගෙන් පැසසුම් ලබමින් කටයුතු කළා මිස ඔවුන් නිවන් මඟක් අනුගමනය කෙළේ නැහැ.

ඔවුන්ගේ අදහස් බුදු සසුනට විරුද්ධ අදහස්. ඒ නිසා කොයි නිකායකට අයත් වුවත් සාධක සහිතව ඉදිරිපත් කරන දේ අප පිළිගත යුතුයි. මහායානිකයින් අතර රහතුන් වහන්සේලා වැඩ සිටිය කියන ප‍්‍රකාශය අප සම්පූර්ණයෙන් බැහැර කළ යුතු ප‍්‍රකාශයක්. ඒක සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්. සම්පජාන මුසාවක්. තමාගේ මතය සනාථ කිරීමට උත්සාහ දරමින් කරන ඉතිහාසය විකෘති කිරීමක්.

මාර්ගඵල ලාභියෙකු තබා මහායානිකයන් අතර ධ්‍යානලාභියෙකුවත් සිටි බවට සාධක නැහැ. නිවන් දැකීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුයිනේ. එහි පළමුවැන්න සම්මා දිට්ඨියයි. ඉතිං සම්මා දිට්ඨියවත් නැතිව ථෙරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයන් අතර කොහොමද රහතන් වහන්සේලා බිහිවුණේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තොරව රහත් වෙන්න පුළුවන් නම් මහායානිකයො අතර පමණක් නෙමෙයි අන්‍යාගමිකයෝ අතරත් රහතන් වහන්සේලා බිහිවෙති. ධර්මය ගැන ගෞරවයක් නැතිව කරන හිස් ප‍්‍රලාපයක් මිස ඉහත ප‍්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව බෞද්ධ ජනතාව තේරුම් ගත යුතුයි.

මෙහිදී අප සලකා බැලිය යුතු තවත් කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ඒ දහම් පොත් පොත්ගුල්වල තැන්පත් කරලා සුවඳ දුම් අල්ලමින් මල් පහන් පූජා කරමින් හැමදාම ඒවට ගෞරව කර කර ඉන්න නෙමෙයි. ධර්මයට ගෞරව කිරීම තමාගේ මාර්ගාංග වැඩීමට හේතුවක් වෙනව. එහෙත් පොත්ගුලට වැඳ වැඳ සිටි පමණින් ධර්මය අවබෝධ කර ගන්නට බැහැ. ඒ වගේම ති‍්‍රපිටක ධර්මය දරාගෙන එයින් වාද විවාද කරමින් කාලය ගෙවන්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත‍්‍රයෙන් විශේෂයෙන් දේශනා කෙළේ ති‍්‍රවිධ පර්යාප්තියක්. අලගද්ද පර්යාප්තිය, නිස්සරණ පර්යාප්තිය, භාණ්ඩාගාරික පර්යාප්තිය කියල. යම් කිසි කෙනෙක් ධර්ම විනය හදාරල ධර්ම ඥානය ඇතිකරගෙන එයින් වාද විවාද කරමින් අනුන් හෙළා දකිමින් අත්තුක්කංසන පරවම්භන කරමින් හැසිරෙනවා නම් විෂ ඝෝර සර්පයෙක් අල්වාගන්න කෙනෙක් කඳ මැදින් අල්ලා ගත් විට විශාල විපත්තියක් කර ගන්නවා වගේ වරදවා අල්වා ගත් ධර්ම විනය විපත්තිය පිණිස පවතිනවා.

එය අලගද්දූපම පර්යාප්තිය නම් වෙනවා. එයින් විනය පිටකය පිළිබඳ වාද-විවාද කිරීම නිසා දුශ්ශීල බවට පත්වෙනවා. සූත‍්‍ර පිටකය පිළිබඳ විවේචනය කරමින් නොමනා වාද විවාදවලට පැටලීමෙන් දෘෂ්ඨි ජාලයකට පැටලෙනවා. ඒ වගේම අභිධර්මය පිටකය පිළිබඳව නොමනා විවේචනයන්ට පත්වීමෙන් ධර්ම චින්තාව අති ධාවනය කිරීම නිසා ඉහාත්ම භාවයේම උම්මත්තකයන් බවට පත්වෙනවා. සසර මන්ද බුද්ධිකයන් වෙලා සර්වඥයන් වහන්සේලා ලක්‍ෂයක් කෝටියක් පහළ උනත් ගොඩගන්න බැරි අභව්‍ය පුද්ගලයෙකු වෙනවා.

මෙන්න මේ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා විශේෂයෙන් දහම් පදයක් පාසා මේ ජීවිතයට එකතු කර ගැනීමට නම් ඒ වදාළ ධර්මය ශීලය පිළිබ¼ඳව නම් ශීලවන්ත වීම, සමථ භාවනා පිළිබඳව නම් සමාධිභාවනා වැඩීම, නාම රූප පරිච්ඡේද ඥානය පිණිස නම් විදර්ශනා වැඩීම මේ විදියට බුදුදහමේ අනුශාසනාවන් අනුගමනය කරන සත්පුරුෂයෝ මේ ධර්මය අනුව තමන්ගේ ශීල සමාධි ප‍්‍රඥා ශීර්ෂයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන මේ එකොලොස් මහා ගින්නෙන් දැවෙන නව මහා භවයෙන් එතෙර වෙලා ශාන්ත නිවන් සුව අත්කර ගන්නවා. ඒ නිසා නව මහා භවයට අතිරේකව අන්තරාභවය වැනි යම් කිසි දෙයක් තියෙනවා නම් අපට ඒක විදර්ශනාවට ගන්න අවශ්‍යයි.

දැන් කාම භව විදර්ශනාව කරන හැටි අපි කෙටියෙන් තේරුම් කර ගනිමු. රූප භවය, අරූප භවය, පඤ්ඤා භවය, අසඤ්ඤා භවය, නේව පඤ්ඤා නා සඤ්ඤා භවය, ඒක වෝකාර භවය, චතුවෝකාර භවය, පඤ්චවෝකාර භවය මේ නව මහා භවයන් විදර්ශනා කර ගන්නට අපට පුළුවනි. මක්නිසාද? ඒ ඒ භවයට නියමිත ස්කන්ධ මේවා, ආයතන මේවා, ධාතු මේවා, ඒ ඒ භවයට නියමිත ඉන්ද්‍රිය හේතු ආහාර මේවා, එස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත මේවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපට ඉතා පැහැදිලිව අතේ තියෙන රේඛාවක් පෙන්වන්නාක් මෙන් පහදා දීල තියෙනවා. නාම රූප පරිච්ඡේදය පෙන්නල දීල තියෙනව. එහෙම වුවත් අන්තරාභවය කියන මේ වචනයෙන් කියවෙන භවය පිළිබඳව කිසිම හෝඩුවාවක් බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. එහෙම වදාරා තියෙනවා නම් ඒකත් විදර්ශනාවට නැංවීම පිණිස නාමරූප වශයෙන් වෙන්කරල දේශනා කරනවා ඒකාන්තයි. එහෙත් එහෙම වෙන්කොට දේශනා කිරීමක් පිටක තුනේ කොතනකවත් පේන්න නැහැ.

චුතියට අනතුරුව තමා තාම මරණයට පත්වූ බව නොදන්නා මනෝමය කයකින් යන පුද්ගලයෙකු මේ ලෝක ධාතුවේම නැත යන සර්වඥ බුදුරජාණන් වහන්සේගේ වචනය අපි පිළිගන්නවා. ඒ වගේම කයක් නැතිව මනෝමය කයින් යනවයි කියන මේ අන්තරාභවික සත්ත්වයන්ට සෘද්ධියක් හෝ දිවැසක් හෝ ඔවුනොවුන් සමඟ කතා කිරීමේ ශක්තියක් තිබෙන්නට බැහැ. කතා කරන්න නම් රූපයක් අවශ්‍යයි. රූපයක් නැති නම් කථා කරන්න බැහැ.

ඒ නිසා මේ අන්තරාභව කථාව නාම රූප පරිච්ඡේද ඥානය නොමැති මන්ද බුද්ධිකයින්ගේ කථාවක් බව අප අවධාරණයෙන් පිළිගන්නට ඕනෑ. ඒ වගේම අපි ආරාධනා කරනවා ඒ අන්තරාභවයක් සැබවින්ම තියෙනවා නම් ඒ අන්තරාභවයට අයිති ස්කන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට, ඉන්ද්‍රීය විසි දෙක, හේතු නවය, ආහාර සතර, එස්ස හත, සඤ්ඤා හත, චේතනා හත, විඤ්ඤාණ හත විදර්ශනාවට නංවා අපට ඉදිරිපත් කරන්න කියලා.

සාකච්ඡා කෙළේ - වේදෙණියේ නන්දසීල හිමි

(උපුටා ගෙන ඇත්තේ දිනමිණ පුවත්පතෙනි... 2009/02/04/ සහ 11 /සහ 18/